වැලිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ආවරණය වන පරිදි වැලිගම ප්‍රදේශවාසීන් සඳහා පානීය ජලය ලබා දෙන ප්‍රධාන ජල පොම්පාගාරය වන කනංකේ ජල පොම්පාගාරය ඊයේ (13) වන දින ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොල්වතුමෝදර ගඟ ආශ්‍රිතව ඇති වූ අධික ගංවතුර තත්ත්වය නිසා පොම්පාගාරයේ සියලු ජල නල අපද්‍රව්‍ය සිරවීම මත අක්‍රීය විය. මේ හේතුව නිසා වැලිගම ප්‍රදේශයේ ජල සැපයුම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු අඩාළ වී ඇත.

මුස්ලිම් ජාතිකයින් වැඩි වශයෙන් ජීවත්වන වැලිගම නගරාසන්න ප්‍රදේශයන්හි මෙම ජල සැපයුම අඩාල වීම ඔවුන්ගේ රාමසාන් උපවාස නිම කිරීමේ උත්සව දිනයේ සිදුවීම එම භක්තිකයන් දැඩි අපහසුතාවයකට පත් වන්නට හේතු විය.

මේ අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වැලිගම ප්‍රාදේශීය ඉංජිනේරු සදුන් කුමරප්පෙරුම මහතා සහ ස්ථාන භාර නිලධාරී ගාමිණී හලල්ල මහතා ප්‍රධාන ජල සම්පාදන කාර්මික හා නඩත්තු සේවා කාර්ය මණ්ඩලය මාතර දිස්ත්‍රික් ජල සම්පාදන කළමනාකරු ඉංජිනේරු සමීර විතාන මහතාගේ උපදෙස් මත අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හමුවේ වුවද දැඩි පරිශ්‍රමයකින් මෙම සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කර ප්‍රධාන පොම්ප සියල්ල සහ නල මාර්ග යථා තත්ත්වයට පත්කර ගන්නා ලදී.

මෙහිදී ගාල්ල නාවික හමුදා කඳවුරේ කිමිදුම් බළකායේ නාවික සෙබළුන් හා නිලධාරීන්ගේද සුවිශේෂී වූ සහයෝගය මේ සඳහා හිමිවිය.

මුස්ලිම් ජාතිකයන්ගේ විශේෂිත ආගමික උත්සවයක් වූ රමසාන් උපවාස දිනය අවහිරයකින් තොරව පවත්වාගෙන යාමට සහ මෙම ආපදා සම්පන්න අවස්ථාවේ ප්‍රදේශවාසී සියලු ජනතාවට අපහසුතාවයකින් තොරව අවශ්‍ය ජල සැපයුම ලබා දීම සඳහා කැපවුණු සියලු නිලධාරීන්ට සහ සේවක මණ්ඩලයට ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය ප්‍රසාදය සහ විශේෂ ස්තූතිය පිරිනමන ලදී.