මෙම අවස්ථාවේ දී ජල ගාස්තු වැඩිකිරීමේ කිසිම සුදානමක් නොමැති බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ජල සම්පාදන අමාත්‍යතුමා මෙම අදහස් පලකලේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ පැවැති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා,

අපේ ලොකුම දායකත්වය මේ තිබෙන අසීරු අභියෝග තත්ත්වය තුල ජලය අඛණ්ඩව සැපයීම. බිඳ වැටීමක් වුනොත් හැකි ඉක්මණින්ම ඒ බිඳ වැටීම නැවත සකස් කර ජලය සැපයීම. මේ පිළිබඳව ලොකු කැපවීමකින් හැඟීමකින් අපේ මුළු මණ්ඩලයේ සියළුදෙනාම අද කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා අපිට ලොකු ගෞරවයක් තියෙනවා. අපි මොන තතත්වයන් යටතේත් අවදානමක් අරගෙන නමුත්, සමහර විට අසීරු තත්ත්වයන් මැදත් අපි මේ ජලය සැපයීම අපේ දේව කාරියක් හැටියට අපි භාරගෙන කරගෙන යනවා. ඒ ගැන මේ රටේ ජනතාවගේ ගෞරවය අපිට ලැබී තියෙනවා.

රට පළල් වශයෙන් හැම පැත්තකින්ම අභියෝගයකට මුහුණ දීලා තියෙන්නේ මේ රට විතරක් නෙමේ ලෝකයේ බොහෝ රටවලත් තත්ත්වය මේකයි. මෙවැනි තත්ත්වක් යටතේ අපේ ආණ්ඩු පාලනය ගෙන යාම කියන එක අසීරු කාරණයක්. අපි දන්නවා අපේ ගෙවල් දොරවල් වල වුනත් ලෙඩ රෝග ඇතිවෙලා එහෙම නැත්තම් දරුවන්ගේ දරු මල්ලන්ගේ වුවමනාවන් වැඩිවෙලා ගෙවල් වල අසීරුතාවයන් වැඩිවෙන කොට අපි අර්බූදයකට යනවා. ඒ වගේ තමයි අද අපේ රටත්.

අපේ අවශ්‍යතාවයන් විවිධාකරයෙන් වැඩිවෙලා. ඒ අතර  අපේ විදේශ විනිමය වෙනදා ලැබුනේ ප්‍රධාන වශයෙන් සංචාරක කර්මන්තයෙන්. සංචාරක කාර්මාන්තය අද සම්පූර්ණයෙන්ම ඇන හිටිලා. ඒ නිසා විදේශ විනිමය ආදායමක් ඇත්තේම නෑ. විදේශ විනිමය ආදායමක් නැතිවුන හැටියේ මොකක්ද අපිට වෙන්නේ අපේ රුපියල පහල වැටෙන්න ගන්නවා. රුපියල පහල වැටෙනකොට මොකද වෙන්නේ අපේ හැම දේකම මිල වැඩිවෙනවා. මෙන්න මේ වැනි වටපිටාවක තමයි අපි ඉන්නේ. ඒ වුනත් අපි මේ හැම දෙයක්ම හොඳින් අවබෝධ කරගෙන රටත් ජනතාවත් ආරක්ෂා කරගනිමින් පොදු ජනතාවට ඇතිවන පීඩනය දුෂ්කරතාවය හැකි තරම් අවම කර දෙන්නට රජයක් වශයෙන් කටයුතු කරනවා. ඒ නිසා මේ අවස්ථාවේ කිසිසේත් ජල ගාස්තු වැඩිකිරීමට අපගේ අදහසක් නොමැති යැයි ද වාසුදේව නානායක්කාර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.