කෝවිඩ් රෝගීන් පරීක්ෂාවේ දී ඔක්සිජන් සංතෘප්ත තාවය මැන බැලීම සඳහා අවශ්‍ය වන “පල්ස් ඔක්සි මීටර්” තොගයක් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මෙහෙයවීමෙන් ජල සම්පාදන මණ්ඩලයේ ඉංජීනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වෙත අද දිනයේ (2021.06.23) පරිත්‍යාග කරන ලදී.

රුපියල් මිලියන 1.1 ක් පමණ වටිනාකමින් යුතු මෙම වෛද්‍ය උපකරණ කෝවිඩ් රෝහල් වලට මෙන්ම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන වලට ද විශේෂයෙන් වැදගත් වන බව රාජ්‍ය ඇමතිතුමිය සඳහන් කලේය.

මෙහිදී අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මැතිතුමා,

මෙම වසංගත තත්ත්වය හමුවේ අප සියළුදෙනාම මෙම තත්ත්වය සමනය කිරීම සඳහා ගත යුතු  සියළු ක්‍රියාමාර්ග වෙනුවෙන් පෙරමුණ ගත යුතු වේ. අපගේ ජල සම්පාදන මණ්ඩලයේ මධ්‍යම යන්ත්‍රාගාරයේ සේවක පිරිස්, මණ්ඩලයේ සියළු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් යුතුව කෝවිඩ් රෝහල් සඳහා ඇඳන් 325 ක් සකස් කොට පසුගිය දා පරිත්‍යාග කරන ලද අතර එහි දෙවන පියවර වශයෙන් ජල සම්පාදන මණ්ඩලයේ ඉංජීනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය අද මෙම වටිනා පරිත්‍යාගය සිදුකිරීම මෙම ජාතික ක්‍රියාන්විතයේ දී අපගේ දායකත්වය මැනවින් පෙන්නුම් කල වැදගත් අවස්ථාවක් වන බවද පෙන්වා දුනනේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගෙන මේ දිනවල විශේෂ නියමු ව්‍යාපෘතියක් වශයෙන් සිදුකරගෙන යනු ලබන කෝවිඩ් රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන අතුරු රෝගී තත්ත්වයක් ද නොමැති අය නිවසේ තබා දුරකථන මඟින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව විමසීම් සිදුකරන පරීක්ෂාව අතරතුර මෙම ඔක්සිජන් සංතෘප්ත තාවය මැන බැලීම විශේෂයෙන් වැදගත්වේ. ඒ සඳහා මෙම පල්ස් ඔක්සි මීටර් විශේෂයෙන් වැදගත් වේ.  

ඉංජීනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමයේ සභාපති සුභද්‍ර හෙට්ටිආරච්චි, ලේකම් අශෝක ද සිල්වා, භාණ්ඩාගාරික යු.එම්. රණසිංහ යන මහත්වරුන් ද සහභාගී විය. මෙම වෛද්‍ය උපකරණ  බයෝ මෙඩිකල් ඉංජීනියරින් අධ්‍යක්ෂතුමා වෙත භරදෙන ලදී.

click here for video.......