ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ඉල්ලීමකට අනුව 2021 ජූලි 03 සෙනසුරාදා නිවාඩු දිනයේ තම කාලය හා ශ්‍රමය කැප කර රජයට සවියක් වෙමින් දිනක වැටුප හා අතිකාල දීමනා ලබා නොගෙන ස්වෙච්ඡාවෙන් සේවයේ යෙදුණු ජාතික ජල සම්පාදන හා ජලාපවහන  මණ්ඩලයේ සේවකයින් සහ ප්‍රජාව එකතුව රජයට රුපියල් කෝටි 20 ක මුදලක් ඉතිරි කර දීමට සමත් වූහ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න සහ ඇඹිලිපිටිය මැතිවරණ කොට්ඨාසයන්හි ගම්මාන 7 ක කිලෝමීටර් 58 ක ජල නල අතුරා නව ජල සම්බන්ධතා ලබා දීමේ ව්‍යාපෘති කොන්ත්‍රාත් ලබා දීමකින් තොරව ප්‍රදේශයේ ජනතාවගේ ශ්‍රම දායකත්වය හා ජල සම්පාදන මණ්ඩලයේ සේවක පිරිස් විසින් සිදු කල එක්දින ක්‍රියාන්විතයකදී නිම කරන ලදි.

ජල සම්පාදන මණ්ඩලයේ කොළඹ, ජාඇළ, රාගම, පිළියන්දල, මහරගම, හෝමගම, පන්නිපිටිය, පානදුර, මොරටුව, දෙහිවල, කඩවත, වේයන්ගොඩ, බත්තරමුල්ල, රන්පොකුණුගම, මීරීගම, දිවුලපිටිය, බියගම, නුවර, බදුල්ල, බණ්ඩාරවෙල, දෙමෝදර, මොණරාගල, මහියංගනය, මීගමුව, කටාන, බියගම, ගාල්ල, අක්මීමන, හම්බන්තොට, තිස්සමහාරාම, බෙලිඅත්ත, අහංගම, රද්දොලුගම ගලගෙදර සහ පාදුක්ක කාර්යාලයන්ට අනුයුක්ත සේවකයන් 300 ක් පමන තම දිනක වැටුප් හා අතිකාල දීමනා නොගෙන මෙම කටයුක්තට දායක වූහ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේදැක්මට අනුව 2025 දී සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීම සඳහා ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පිරිසිදු පානීය නල ජල පහසුකම් ලබාදීමට සිදු කරන ප්‍රශස්ත වැඩපිළිවෙල ඇගයීමට ලක් කරමින් හා රජයට ශක්තියක් වීම අරමුණු කරගනිමින් මෙලෙස ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් ස්වෙච්ඡාවෙන්ම මෙම උදාර වැඩපිළිවෙලට ශ්‍රම දායකත්වය ලබා දීමට තිරණය කර තිබුණි.

දිගු කලක සිට පිරිසිදු පානීය ජලය සපයා ගත නොහැකිව පීඩා විඳි කොළොන්න හා ඇඹිලිපිටිය මැතිවරණ කොට්ඨාශයේසංඛපාල ග්‍රාමය, ජනපද විද්‍යාල මාර්ගය, ගුරුමඩයාය, යාය 02, ගබ්බෙල, නින්දගම් පැලැස්ස, කන්දහේන කලුගහහේන යන මාර්ගවල පදිංචි ජනතාවට නල ජලය සැපයීම සඳහා කිලෝමීටර් 58 ක පමන දුරකට ජල නල දීර්ඝ කිරීම මෙම වැඩපිළිවෙල යටතේ සිදු කෙරුණි. නිවාස 1632 කට වැඩි ප්‍රමාණයකට නව ජල සම්බන්ධතා ලබා දීම මෙහිදී සිදුකල අතර 8160 ක පමන ප්‍රතිලාභී පිරිසකට මෙයින් සෙත සැලසෙනු ඇත.

ජල සම්පාදන ආමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය මහතා හා මාධ්‍ය ලේකම්, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් කේ.එච්. සංජීව ධම්මික යන මහත්වරු විසින් මෙම සියලු කටයුතු සම්බන්ධීකරණය සිදු කරන ලද අතර අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලය මඟින් සැලසුම් නිර්මාණය කරන ලදි. රටේ පවතින වසංගත තත්වය හේතුවෙන් සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයන් අනුගමනය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

පානීය ජලය නොමැතිව පිඩා විදින ජනතාවට කඩිනමින් පානීය ජලය සැපයීම සඳහා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලත් මේ ආකාරයෙන් ජල නල එලීම උදෙසා සේවක ප්‍රජා වැඩසටහන් ජල සම්පාදන අමාත්‍යතුමා පත්කරන ලද ස්වේඡා නිලධාරීන්ගේද දායකත්වයෙන් සංවිධානය කරන බව මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික මහතා පැවසීහ.  

ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යධිකාරී තිළිණ විජේතුංග යන මහත්වරු ඇතුලු අතිරේක සාමාන්‍යධිකාරීවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකිවී ඇත.

මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජල සම්පාදන අමාත්‍යාශ අධීක්ෂන මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන, ජල සම්පාදන අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සරත් ආර්. රණසිංහ, සම්බන්ධීකරණ ලේකම්වරුන් වන  ජි.වි.ඩි. තිලකසිරි, ඩල්ලි කලන්සූරිය, ජල සම්පාදන මණ්ඩලයේ උප සභාපති නිමල් ආර්. රණවක, වෘත්තිය සමිති කටයුතු උපදේශක ඉෂාරා දියෙස්, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ යන මහත්වරු ඇතුලුජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් වෘත්තිය සමිති නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.