නව ජල සම්බන්ධතා ලබා දීමේදී රජය මඟින් ලබා දී ඇති ඉඩම් වල පදිංචිකරුවන් සඳහා එම ඉඩමේ හිමිකම්නොමැතිවීම හේතුවෙන් ජල සම්බන්ධතා ගාස්තුවට අමතරවඅතිරේක ගාස්තුවක් ද ගෙවීමට ද සිදුව තිබුනි.

ප්‍රදේශයේ භාර ග්‍රාම නිලධාරිවරයා විසින් නිකුත් කරනු ලබන සහතිකයේ හිමිකම් නැති පදිංචි කරුවන් යනුවෙන් සඳහන් කරනු ලබන පවුල් වලින් මෙම අතිරේක අය කිරීම සිදුකරනු ලබයි.

 

මේ සම්බන්ධයෙන් ජල සම්පාදන අමාත්‍යවරයා වෙත අඩු ආදායම් ලාභීන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීම සලකා බලා හිමිකම් නොමැති පදිංචි කරුවන් වෙනුවෙන් නව ජල සම්බන්ධතා ලබා දීමේදී අය කරනු ලැබූ අතිරේක මුදල වන රුපියල් 1500 ක් වන ගාස්තුව කපා හැරීමට ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කටයුතු කර ඇත.

 

මෙම අතිරේක අයකිරීම නතර කිරීමේ චක්‍රලේඛය අද දින සිටම (අගෝස්තු 23) ක්‍රියාත්මක කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත අමාත්‍යතුමා උපදෙස් ලබා දී ඇත.

 

මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර,

මාධ්‍ය අධ්‍යක්ෂ,

ජල සම්පාදන අමාත්‍යාංශය.

0716845668

Write comment (0 Comments)

බලංගොඩ පඹහින්න ප්‍රදේශයේ නිවසක වැඩිහිටි කාන්තාවක් ග්‍රහණයට නතු කර ගෙන ඇය සතු ලක්ෂ 11ක් පමණ වටිනා රන් භාණ්ඩ පැහැරගත් සොරුන් කණ්ඩායමක් සමනල වැව පොලීසිය මගින් පසුගියදා  අත්අඩංගුවට ගෙන ඇත. මෙම සොර කල්ලියේ එක් සමාජිකයෙකු වන්නේ ජල මනු කියවන්නෙකි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජල සම්පාදන අමාත්‍යාංශයේ මාධ්‍ය අධක්ෂක වරයා දන්වා සිටින්නේ,

මෙම සිද්ධියට සම්බන්ධ ජල මනු කියවන්නා ජල සම්පාදන අමාත්‍යාංශයට අයත්, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට හෝ  ප්‍රජා ජල දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ලබන ජල මනු කියවන්නෙකු නොවන බවයි.

 

මොහු බලංගොඩ, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මගින් එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජලය ලබා දීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන කුඩා ග්‍රාමීය ජල යෝජනා ක්‍රමයක ජල මීටර කියවීම සඳහා යොදවා ඇති ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සේවකයෙකි.

 

ශ්‍රී ලංකාව පුරා ජල සම්පාදන මණ්ඩලයට අනුයුක්ත ජල මනු කියවන්නන් සිය ගණනක් සේවයේ නිරතව සිටින අතර මෙම ප්‍රවෘත්තිය හේතුවෙන් නිවෙස් ගානේ ගොස් සිය රාජකාරි කටයුතු කරන ජල සම්පාදන මණ්ඩලයට අයත් සමහර මනු කියවන්නන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

 

වසර ගණනාවක් පුරාවට ලක්ෂ සංඛ්‍යාත ජල පාරිභෝගික ජනතාව වෙනුවෙන් තම රාජකාරිය නිවැරදිව, වගකීමෙන් යුක්තව ඉටු කරනු ලබන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල මීටර කියවනු ලබන නිලධාරීන් (මනු කියවන්නන්) රජයට අයත් ව්‍යවස්ථාපිත මණ්ඩලයක ස්ථිර සේවකයන් වන අතර ඔවුන් ඉතා වගකීමෙන් යුක්තව තම රාජකාරියේ නිරත වන බව, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිළිණ විජේතුංග මහතා පවසයි.

 

මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර,

මාධ්‍ය අධ්‍යක්ෂ,

ජල සම්පාදන අමාත්‍යාංශය.

0716845668

Write comment (0 Comments)

 වව්නියා දිස්ත්‍රික් ජල යෝජනා ක්‍රමය ආරම්භ කරමින් ඇමති වාසුදේව කියයි.

වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකට අයත් වව්නියාව නගරය සහ වව්නියාව දකුණ කොට්ඨාශයට අයත් ග්‍රාම නිළධාරී වසම් තුනක් වන කාර්තාසින්නකුලම්, මහරම්භකුලම් සහ මාමඩුව යන ප්‍රදේශ වලට පානීය නල ජල එළීම ආරම්භ කරනවා. පයිප්ප එළීම පටන් ගන්නවා. මේ සඳහා රුපියල් මිලියන 46.24 ක් වැය කරනවා. මෙහිදී කීලෝමීටර් 8.7 ක දුරක් සඳහා නල එළීම සහ නව සම්බන්ධතා ලබාදීම මේ යටතේ සිදුකරනු ලබන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියි.

වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක් සඳහා පානීය නල ජලය බෙදාහැරීම වෙනුවෙන් සිදුකරනු ලබන ජල නල එළීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අමාත්‍යතුමා මෙම අදහස් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර අමාත්‍යතුමා,

මෙම වව්නියාව ජල යෝජනා ක්‍රමය සඳහා ජල මුලාශ්‍රය වන්නේ සේරාරුම් ජලාශයයි. එම ජලාශය වෙන් කරලා තියෙනවා වව්නියාවට පානීය ජලය සපයන්න. වව්නියාවට අවශ්‍ය ජලය සැපයීම සඳහා අවශ්‍ය ජල මුලාශ්‍ර ප්‍රමාණවත් බව අපට පැහැදිලියි. ඒ අනුව නල එළා සෑම ප්‍රදේශයකටම ජලය ලබාදීම අපගේ වැඩපිළිවෙලයි. ඒ සඳහායි අප මේ කටයුතු කරගෙන යනු ලබන්නේ. මේ ආකාරයෙන් අපි අවුරුදු පතා විශාල මුදලක් වැයකරමින් එයින් සැළකිය යුතු කොටසක් අයවැයෙන් ජලය සඳහා වෙන්කරමින් අපේ ජල සම්පාදන අමාත්‍යාංශය වැඩ කරගෙන යනවා. එයින් උතුරු පළාතටත් වව්නියාව ප්‍රදේශයටත් පානීය ජලය ලබාදීමට අපි කටයුතු කරනවා. අපේ අරමුණ ඉලක්කය උතුරු පළාතේ පානීය ජල ගැටළුව හැකි ඉක්මණින් විසඳාලීමයි.

ජලය පිළිබඳ ප්‍රශ්ණය රටවල් ප්‍රදේශ අතර යුද්ධයන්ට පවා හේතු වෙලා තියෙනවා. ජලය පිළිබඳ ප්‍රශ්ණය නිසා අදත් ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් අතර ගැටුමක් පවතිනවා. කර්ණාටක ප්‍රාන්තය සහ තමිල්නාඩු ප්‍රාන්තය අතර. අපට මේ රටේ වාසානාවක් තියෙනවා. අපිට ජලය ඉන්දියාවට වඩා බහුලව තිබෙනවා. අපිට විල් තියෙනවා. ඒ වගේම වැව් තියෙනවා. විශාල ජලාශ තිබෙනවා. අපිට තියෙනවා කුඩා ජල පහරවල් රටේ හැම පැත්තකින්ම පහළට ගලා යන මහ ගංඟාවල් හැදෙන. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ වව්නියාවේ මේ ජලය ඔය සේරාරුම් ජලාශයෙන් ගන්න. ජලය මුළු වව්නියාවේ සෑම ප්‍රදේශයකටම ගලා යන පරිදි නල මාර්ගයෙන් ලැබීමට සලස්වන්න.

“සෑම ගෙදරකටම ජලය” මේ තමයි අපේ පොරොන්දුව. ලබන 2025 වර්ෂයට කලින් අපේ රජයේ කාලය නිමා වන්නට ප්‍රථම, සෑම නිවසකටම ජල නල මඟින් පිරිසිදු පානීය ජලය ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ තමයි අපේ ප්‍රතිඥාව. මේ ආණ්ඩුව ක්‍රියාකරන්නේ එම ප්‍රතිඥාව ඉදිරියේ තබාගෙනයි.

මෙම ප්‍රදේශ ආශ්‍රිතව සනීපාරක්ෂක වැසිකිළි වල ගැටළුවකුත් පවතිනවා. ඉදිරි කාලය තුලදී ඒ සඳහා ද විසඳුම් ලබාදීමට අපගේ අමාත්‍යාංශය කටයුතු කරනු ලබනවා. සනීපාරක්ෂක වැසිකිළි නැති නිවාස වලට නිසි ප්‍රමිතීන්ට අනුකූලව වැසිකිළි ලබාදීමට අපි කටයුතු කරනවා. අපිට මෙහිදී ජනවාර්ගික ප්‍රශ්ණයක් නෑ. අපිට මෙහිදී සියලුම ජනයා මනුෂ්‍යයන්. ඒ නිසා අපේ පරමාර්ථය මේ රටේ සියලුම ජනයාට කිසිම භේදයකින් තොරව පිරිසිදු පානීය ජලය සැපයිමයි. මං විශ්වාස කරනවා අපට මෙය ඉටුකරගත හැකි බව යැයි ද ජල සම්පාදන අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාවට වව්නියාව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති පාර්ලි‍මේන්තු මන්ත්‍රී කුලසිංගම් දිලීබන් මහතා සහ ජල සම්පාදන අමාත්‍යතුමාගේ වන්නි දිස්ත්‍රික් සම්බන්ධිකාරක වී. සංකරලිංගම් මහතා ඇතුලු පළාත් පාලන නියෝජිතයින් රැසක් ද සහභාගී විය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වව්නියා දිස්ත්‍රික් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.Click here for Video .....

 

Write comment (0 Comments)

2021.08.11

උතුරු පළාත් ජල සම්පාදන වැඩපිළිවෙලේ තවත් එක් අදියරක් වවුනියාවෙන් ආරම්භ කෙරේ.

උතුරු පළාතේ පානීය ජල සැපයුම නොමැතිව දුෂ්කරතාවයට පත් ජනතාව උදෙසා ක්‍රියාත්මක පානීය ජල සම්පාදන වැඩසටහන යටතේ තවත් එක් අදියරක් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි වවුනියාව නගරය සහ වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීම 2021.08.12 වන දින ආරම්භ වේ.

වවුනියාව දිස්ත්‍රික්කයේ කාර්තාසින්නකුලම, මහරම්භකුලම් සහ මාමඩුව ප්‍රදේශ ආවරණය වන පරිදි පානීය නල ජලය බෙදා හැරීම සඳහ නල ජල එළීමේ ව්‍යාපෘතියට මෙදින මුල්ගල් තැබීම සිදුකෙරේ.

රුපියල් මිලියන 46.26 ක මුදලක් වැයකර ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම යෝජනා ක්‍රමයේ පළමු අදියර මඟින් කීලෝමීටර් 8 ක දුර ප්‍රමාණයක නල ජලය එළීම සහ එම ආවරණ කලාපය තුල ගෘහස්ථ නල ජල පහසුකම් ලබාදීම සිදුකෙරේ.

මාස 06 ක කාලයක් තුල නිම කිරීමට බලාපොරොත්තු වන වවුනියාව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ මෙම අදියර තුලින් පවුල් 1200 කට පමණ සෙත සැලසීම මෙහි විශේෂත්වය වේ.

අගෝස්තු 12 වන දින ප.ව. 4.00 ට ප්‍රථම පස් පිඩැල්ල කැපීමෙන් ආරම්භ වන මෙම යෝජනා ක්‍රමය වවුනියාව අන්නානගර් හීදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයන් අනුගමනය කරමින් ජන ඒකරාශී වීමෙන් තොරව සිදුකිරීමට කටයුතු සැලසුම් කර ඇති අතර වවුනියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංගම් දීලිබන් මහතා සහ මුලතිව් හා මන්නාරම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ආර්.කේ. කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.  

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වවුනියා දිස්ත්‍රික් කාර්යාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එම්.ඒ. රාෆික් මහතා ඇතුළු මණ්ඩලයේ නිළධාරීන් මෙම වැඩපිළිවෙල සංවිධානය කර ඇත.

මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර

අධ්‍යක්ෂ (මාධ්‍ය)

ජල සම්පාදන අමාත්‍යාංශය

0716845668

Write comment (0 Comments)

2021.08.09

වසර ගණනාවක් පුරා පානීය නල ජලය නොමැති කමින් පීඩාවට පත්වී සිටි කටාන කිඹුලාපිටිය ප්‍රදේශවාසී ජනතාව සඳහා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිණියගේ මෙහෙය වීමෙන් ජල සම්පාදන මණ්ඩලය මඟින් පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙල මෙම අවස්ථාවේ විශේෂයෙන් වැදගත් සහ අත්‍යාවශ්‍ය කටයුත්තක් වන බැවින් ඒ සඳහා වන අදාල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල සිදුකෙරෙන මාර්ග කැනීම් කටයුතු වලදී ප්‍රාදේශීය සභාවට අයකරනු ලබන මුදල ජනතාවගෙන් අය කර නොගැනීමට කටාන ප්‍රාදේශීය සභාව තීරණය කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. නන්ද විජේරත්න සිල්වා මහතා,

ගරු ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික මහතා මේ සම්බන්ධව මා සමඟ සාකච්ඡා කළා. ඇත්තටම සභාවක් තුල මංමාවත් කැනීම් කරද්දි අපි මුදලක් අයකරනවා. ඒ මුදල් අයකිරීමෙන් ප්‍ර‍දේශවාසි ජනතාව නිදහස් කරලා වඩා ජනතා හිතවාදීව කටයුතු කරන්න ඕන අවස්ථාවක් ලෙස සලකා මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වන ජලය ලබාදීමට තීරණය කර සෞභාග්‍යය දැක්ම තුල අතිගරු ජනාධිපතිතුමත්, අග්‍රාමාත්‍යතුමත් මේ එකතු වෙලා කරන ක්‍රියාවලියේ දී අපේ කටාන ආසනයට ජලය ලබාදීමට විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය කටයුතු කලා. එතුමිය ඉල්ලීමක් කරලා තමයි අපිට මේ ජලය ලබාගැනීමට අපේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා අපිට ප්‍රතිපාදන ලබාදුන්නා. ඒ ලබාදීමේ දී මෙය හරිහැටියට නායකත්වය දීලා මේ ආසනයට පුළුවන් තරම් වේගයෙන් ක්‍රියාත්මක කරන්න විවිධ දේශපාලන උපක්‍රම යොදමින් ගරු ඇමතිතුමිය කටයුතු කලා. මං හිතන්නේ එකේ ප්‍රතිඵලය අද ජනතාවට ලැබිලා තිබෙනවා. මෙය ඉතාමත්ම වේගයෙන් සෞභාග්‍යය දැක්ම තුල ඉතාමත්ම වේගයෙන් අපේ කටාන ආසනයේ ජනතාවට අත්‍යාවශ්‍ය ජලය ලබාදීමට කටයුතු කිරීමට ගරු වාසුදේව නානායක්කාර අමාත්‍යතුමා මුල්වීම පිළිබඳවත්, ජල ටැංකි මාස දෙකක් වැනි කාලයක් තුල මුළු ආසනයේම සියලුම ජනතාවට ජල පහසුකම නිවෙස් වලට ජලය ලබාදීමට කටයුතු කිරීම ගැනත් මගේ සතුට අපගේ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ජල කර සිටිනවා.

මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර,

අධ්‍යක්ෂ මාධ්‍ය.

ජල සමාපාදන අමාත්‍යාංශය

Write comment (0 Comments)

 

දිවයින පුරා පිහිටා ඇති ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම අද දවසේ ප්‍රමුඛතම සහ අත්‍යාවශ්‍ය කාර්යයක් වන බැවින් ඒ සඳහා වඩා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී කටයුතු කළ යුතු බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජල සම්පාදන මණ්ඩලයේ නිළධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

දිවයින පුරා ක්‍රියාත්මක පානීය ජල සම්පාදන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රධාන අමාත්‍යාංශ නිළධාරීන් සහ ජල සම්පාදන මණ්ඩලයේ නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී ගරු අග්‍රාමාත්‍යතුමා මෙම අදහස් පල කර ඇත.

එහිදී අග්‍රාමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නේ දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමගාමීව ජල පෝෂක ප්‍රදේශ වල සංරක්ෂණය සඳහා වහාම පියවර ගන්නා ලෙසයි.

පානීය ජලය නොමැති වීම නිසා විවිධ දිස්ත්‍රික්ක වල ජනතාව විශාල වශයෙන් දුෂ්කරතාවයට ලක්වෙන අතර ඒවාට විසඳුම් ලබාදීම කඩිනම් කල යුතු අතර අවශ්‍ය පානීය ජල ව්‍යාපෘති සඳහා අනුග්‍රාහය, විදේශ ආධාර හෝ ප්‍රදානයන් ලෙස ද ලබාගැනීමට හැකියාව පවතින බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම අලුතින් ශාක වර්ග හා පැල රෝපනය කර ජල පෝෂක ප්‍රදේශය ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය වන අතර ඒ සඳහා පරිසර අමාත්‍යාංශය හා එක්ව විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත. මෙහිදී ජල සම්පාදන අමාත්‍යාංශයේ නිළධාරීන් පවසා සිටියේ දිවයිනේ සියළුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි නල මඟින් ආරක්ෂිත පානීය ජලය ලබාදීමේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ඉදිරි තෙවසරක කාලය තුල සියළුම පවුල් සඳහා පානීය ජලය ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාසයක් පවතින බවයි.

වර්තමාන රජයේ සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රමුඛතම කාර්යයක් බවට පානීය ජල සම්පාදනය පත්කර ඒ සඳහා අයවැය මඟින් වඩා වැඩි මුදලක් ලබාදීම පිළිබඳව මෙහිදී ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ගරු අග්‍රාමාත්‍යතුමාට ස්තූතිය පිරිනැමු අතර ජල සම්පාදන මණ්ඩලය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සහ ජල සම්පත් මණ්ඩලය යන ආයතන සමඟ එක්ව 2025 සැමට ජලය ලබාදීමේ දීප ව්‍යාප්ත කඩිනම් වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.

අරලිය ගහ මන්දිරයේ දී පසුගිය දා පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ආචාර්යය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම, ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග ඇතුළු නිළධාරීන් කීපදෙනෙක් ද සහභාගී වීය.

Write comment (0 Comments)

Click here for vedio .....
දිවයිනේ දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමයක් වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය ජූලි මස 28 වනදා පස්වරුවේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටි.

රුපියල් මිලියන 31,000 ක් (රු.මි. තිස්එක් දහසක්) වැය කර සම්පූර්ණ කර ඇති මෙම විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ නව ජල සම්බන්ධතා 90,000 ක් පමණ ලබාදීමට හැකියාව ඇති අතර මේ තුලින් පිරිසිදු පානීය ජලය ලබාගන්නා සමස්ථ පවුල් සංඛ්‍යාව තුන්ලක්ෂ පනස් දහස ඉක්මවයි.

පිරිසිදු පානීය ජලය ලබාගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටි මාතලේ රත්තොට, යටවත්ත, උකුවෙල, පල්ලේපොල, අඹන්ගඟ කෝරළය සහ නාවුල යන ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාවට මෙයින් විශේෂ සහනයක් හිමිවේ.

අද දින (ජූලි 28) ජනතා අයිතියට පත් කරන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ අඹන්ගඟ, උකුවෙල සහ උඩතැන්න යන ජල ව්‍යාපෘති 03 ක් විවෘත කෙරේ.


Click here for Ambanganga Video .....

Click here for Ukuwela Video ..........

Click here for Udethenna Video .....

රුපියල් මිලියන 5,440 කින් ඉදිකරන ලද අඹන්ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් නව ජල සම්බන්ධතා 20,000 ක් (විසිදහසක්) ලබාදීමට කටයුතු කරන අතර මේ තුලින් පිරිසිදු පානීය ජලය ලබාගන්නා ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 76,740 කි. පල්ලේපොල, යටවත්ත, නාවුල, මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මේ තුලින් ආවරණය වන අතර මෙයට ඇතුලත් වන ග්‍රාම නිළධාරී වසම් සංඛ්‍යාව 115 කි. රජ්ජම්මන, වල්මෝරුව, මහවෙල කන්ද යන ප්‍රදේශයන්හි ඉහල ජල ධාරිතාවයකින් යුතු ජල ටැංකි 03 ක් ඉදිවන අතර දිනකට ජලය ඝන මීටර 18,000 ක පමණ ධාරිතාවයකින් යුක්තව ජලය සැපයීමට අපේක්ෂා කෙරේ.

උකුවෙල ජල සම්පාදන ව්‍යාපෘතිය ද විසල් මාතලේ ජල යෝජනා ක්‍රමයට ඇතුලත් තවත් ව්‍යාපෘතියකි. රුපියල් මිලියන 3,150 ක වියදමකින් ඉදිවන මෙම ව්‍යාපෘතිය මඟින් නව ජල සම්බන්ධතා 8,000 ක් පමණ ලබාදෙන අතර ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 31,908 කි. උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් 22 ක ජනතාව සඳහා මේ යටතේ පානීය ජල පහසුකම් හිමිවේ.  

විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ විවෘත වන අවසන් ජල සම්පාදන ව්‍යාපෘතිය උඩතැන්නයි. මේ මඟින් 47,918 පමණ ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවකට සෙත සැලසෙන පරිදි නව ජල සම්බන්ධතා 12,000 ක් ලබාදීමට කටයුතු කර ඇති අතර උකුවෙල සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ග්‍රාම නිළධාරී වසම් 37 ක් මෙයින් ආවරණය වේ. උඩතැන්න සහ පන්සල් තැන්න ප්‍රදේශයන්හි ඉදිවන ඝන අඩි 1,090 ක සහ ඝන අඩි 800 ක ධාරිතාවයකින් යුක්ත ජල ටැංකි දෙකක් ඉදිකරන අතර මේ සඳහා වැය වන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 3,250 කි.

වර්තමාන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන අවස්ථාවේ දී ආරම්භ කරන ලද මෙම විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් වඩා වැඩි ප්‍රමුඛතාවයක් ලබාදී නිමාවට පත්කර ඇත.

මෙම සියළු ජල සම්පාදන ව්‍යාපෘතීන් ඉදිකර අවසන් වූ පසුව මාතලේ දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජල ආවරණය 30% සිට 90% දක්වා වැඩිකිරීමට හැකියාව ලැබෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටි.

මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ ලග්ගල සහ විල්ගමුව ජල සම්පාදන යෝජනා ක්‍රම දැනට ඉදිවෙමින් පවතින අතර මෙම වසර අවසානයේ දී එම යෝජනා ක්‍රම ද ජනතා අයිතියට පැවරීමට බලාපොරොත්තු වේ.

Write comment (0 Comments)

වාණිජ මට්ටමේ කාර්යයන් සහ ව්‍යාපෘති සඳහා භූගත ජල සම්පත උකහා ගැනීමේ දී ජල සම්පත් මණ්ඩලයේ අධීක්ෂණය හා පාලනය යටතේ අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් පිළිබඳව ගැසට් පත්‍රයක් මඟින් නියෝග නිකුත් කර තිබුන ද, මේ සම්බන්ධයෙන් සිදුකරන අයථා ක්‍රියා හා වැරදි සඳහා ලබාදෙන දඬුවම් පිළිබඳව දැනට පවතින පනතේ ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බැවින් එම පනත සංශෝධනය කර නව නියෝග ඇතුලත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මෙම ගැසට් පත්‍රයේ නියෝග ප්‍රකාරව නල ලිං ඉදිකරනු ලබන ආයතන ලියාපදිංචි කිරීමේ කාර්යයට අනුගත නොවී අනවසර විහිදුම් යන්ත්‍ර ළඟ තබා ගැනීම සහ භාවිතය පාලනය කිරීමත් අධික ලෙස වාණිජමය කටයුතු සඳහා භූගත ජලය ලබාගන්නා ආයතන නියාමනය කිරීමත් මේ යටතේ සිදුකෙරේ.

2017.03.16 දින නිකුත් කරන ලද අංක. 2010/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් නියෝග ක්‍රියත්මක කරවීමේ දී ප්‍රායෝගිකව පැන නඟින ගැටළු, විශේෂයෙන් වැරදි සහ ඊට අදාල දඬුවම් පැමිණවීමට පවත්නා පනතේ ප්‍රතිපාදන නොමැති බැවින් 1964 අංක 29 දරණ ජල සම්පත් මණ්ඩල පනතේ 15 වගන්තිය සහ 20 වන වගන්තිය සංශෝධනය කිරීම මේ යටතේ සිදුකෙරේ.

භූගත ජලය අවභාවිතා කිරීම සහ අසීමාන්තික ලෙස වාණිජ කටයුතු සඳහා යොදාගැනීම වැනි නව අභියෝග වලට මුහුණ දිය හැකි ආකාරයෙන් මෙම ගැසට් පත්‍රය සංශෝධනය කිරිමට කටයුතු කරන බවත් මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මහජනතාව වෙත පීඩාකාරී වන ආකාරයෙන් භූගත ජලය ලබාගැනීම ගැන පැමිණිලි වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල මහජන ආරක්ෂාව පිළිබඳ වන ආයතන වෙත ලබාදෙන බව ද අමාත්‍යතුමා සඳහන් කරයි.

වර්තමානයේ විවිධ මානව ක්‍රියාකාරකම් මඟින් අපගේ සීමිත භුගත ජල සම්පතට ඇතිව තිබෙන තර්ජන හේතුවෙන් ඉදිරියේ දී විශාල වශයෙන් පාරිසරික අසමතුලිතතාවයන් සහ සමහර ප්‍රදේශයන් හි ජල සම්පතේ හිඟතාවයන් ද ඇතිවිය හැකි බැවින් භූගත ජල සම්පත වාණිජමය කටයුතු සඳහා යොදාගැනීමේ දී මහජනතාවට පීඩා වන පරිදි අසීමිත ලෙස ජලය ලබාගැනීම නිසා සිදුවන පාරිසරික ගැටළු අවම කර ගැනීම උදෙසා වන මෙම කැබිනට් යෝජනාවට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ද වාසුදේව නානායක්කාර අමාත්‍යතුමා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලේය.  

එදිනෙදා පරිහරණය සඳහා යොදාගනු ලබන නිවෙස් ආශ්‍රිතව ලිං, නල ලිං සහ ජල පහසුකම් පොදු මහජනතාව සඳහා සපයන ස්ථාන මෙයට ඇතුලත් නොවන බව ද අමාත්‍යතුමා විශේෂයෙන් දන්වා සිටියි.

 

මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර

අධ්‍යක්ෂ මාධ්‍ය

ජල සම්පාදන අමාත්‍යාංශය

0716845668

Write comment (0 Comments)

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශයන් හි ජනතාව‍ගේ පානීය ජල සැපයුමේ සුවිශේෂි පියවරක් පසුගිය ඉරිදා වන විට නිමාවට පත්කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ සේවක පිරිස් සමත් විය.

අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බල ශක්ති සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මෙම කඩිනම් වැඩපිළිවෙල මඟින් කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල පැවති නිරන්තර ජල කප්පාදුව 90% කින් පමණ අවම වන අතර වැඩි ධාරිතාවයකින් යුක්තව පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීම මේ යටතේ සිදුකෙරේ.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ උපදෙස් මත වඩා ප්‍රමුඛතාවක් ලබාදී රුපියල් මිලියන 100 ක පමණ මුදලක් වැයකර මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අඹතලේ ජල සම්පාදන පද්ධති වැඩිදියුණු කිරීම සහ බල ශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු වී.ජී.යූ. රංජීත් මහතා,

“දැනට කොළඹට ජලය සපයන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයෙන්. දිනකට ඝන මීටර් පන්ලක්ෂ පනස් දහසක් සපයනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා කැළණිය දකුණ ඉවුරේ තියෙන බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය ඝන මීටර් පනස් දහසක් මෙම අඹතලේ ජල පවිත්‍රාගාරය හරහා කොළඹට සපයන්න. එමඟින් කොළඹට සැපයෙන ජල ධාරිතාවය වැඩිවෙනවා. ඒ නිසා ජල පීඩනය තත්ත්වය අඩුවෙලා එහි සේවා තත්ත්වය උසස් වෙනවා. ඒ වගේම අපි බලාපොරෙත්තු වෙනවා මෙමඟින් අඹතලේ යම්කිසි වැඩිදියුණු කටයුත්තක් සිදුකරන වෙලාවක අපිට අඹතලේ නිෂ්පාදනය කරන ධාරිතාවය අඩුකරගන්න සිදුවුනොත් ඒ සඳහා මෙම අලුතෙන්ම අද සිදුකරන වැඩිදියුණු කටයුත්ත මඟින් බියගම ජල පවිත්‍රාගාරයෙන් යම්කිසි ප්‍රමාණයක් ජලය ලබාගෙන පාරිභෝගික ජනතාවට වෙන අපහසුතාවය අවම කරදීමට. මෙයයි අපි බලාපොරොත්තු වන්නේ".

එසේම මෙම ව්‍යාපෘතිය හරහා අපි මූලිකවම කොළඹට සපයන ජලය සඳහා  පොම්ප කිරීමට වැයවන විදුලිය පිරිවැය ද අවම කරගැනීමට කටයුතු කරනවා. ඒ අනුව විදුලි පිරිවැය 15% ත් 18% ත් අතර ප්‍රමාණයකට අඩුකර ගැනීමට අපි මෙම ව්‍යාපෘතියෙන් කටයුතු කරනවා. ඒ වගේම මෙතන තියෙන ගොඩක් ජල පොම්ප අවුරුදු 30 කට වඩා පැරණි. ඒවායේ කාර්යක්ෂමතාවය ඉතාමත්ම අඩුයි. ඒ වගේම ඒවට අවශ්‍ය අමතර කොටස් දැනට හොයගන්නත් නෑ. ඒ නිසා තමයි මෙම පොම්ප වෙනුවට අලුතෙන් පොම්ප යොදලා කාර්යක්ෂමතාවයෙන් වැඩිකර අපි ඉතාමත්ම උසස් මට්ටමේ සේවයක් ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව කොළඹට ජලය ගෙන යන ජල නල අවුරුදු සීයයකට වඩා පැරණි. එම නිසා බොහෝ අවස්ථා වල මාර්ගය දෙපස ජල කාන්දු ඇතිවෙනවා. ඉතින් මං හිතන්නේ අපි මේ ව්‍යාපෘතිය අවසන් කලාට පස්සේ එම ජල කාන්දුව ඇති වීම අඩුවෙලා කොළඹට ජලය ගෙනෙන ජල නල පද්ධතියේ කාර්යක්ෂමතාවයත් වැඩිකිරීමට අපිට හැකිවන බවයි. දැනට අපේ ව්‍යාපෘතියේ 44% ක් විතර වැඩ අවසානයි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කීපය තුල මෙම වැඩ කටයුතු සියල්ල නිමාවට පත්කිරීමට.

මෙහි දී අදහස් දැක්  වූ අඹතලේ ජල පවිත්‍රාගාරයේ මෙහෙයුම් කළමනාකරු පියල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින්,

මෙම අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බල ශක්ති සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රජයේ පුම්‍රඛතම සංවර්ධන ක්‍රියාවලිය වන පොර්ට් සිටි නගර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ජලය ලබාදීමත් අප විසින් සිදුකරනු ලබනවා. මෙය 100% ක් දේශීය වශයෙන් අප මණ්ඩලයෙන් සිදුකරනු ලබන සුවිශේෂි ක්‍රියාවලියක් බව විශේෂයෙන් සඳහන් කල යුතුයි. ඊට අමතරව මේ අඹතලේ ජල පවිත්‍රාගාරය තුල වැඩිදියුණු කිරීම් රාශියක් අපි මෙම ව්‍යාපෘතිය හරහා සිදුකර කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට වඩා උසස් සේවයක් ලබාදීම අපගේ පරමාර්ථයයි.

මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර

අධ්‍යක්ෂ මාධ්‍ය

ජල සම්පාදන අමාත්‍යාංශය

0716845668

 

Ministry of Water Supply
Media Unit

 
Write comment (0 Comments)

අඛණ්ඩ පානීය ජල සැපයුමක් නොලැබීම සහ පානීය ජල සැපයුම සම්බන්ධ දුෂ්කරතා සහ ගැටළු මතුවී තිබු දිවයිනේ ප්‍රමුඛතම පූජා නගර ආශ්‍රිතව අඛණ්ඩව පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙලක් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ආරම්භ කර ඇත.

මෙහි පළමු අදියර වශයෙන් අනුරාධුපර පූජා නගරය මුල් කරගනිමින් අනුරාධපුර පූජා නගර ජල ව්‍යාපෘතිය ලබන 09 වන දා (ජූලි 09) ආරම්භ කිරීමට නියමිතය. මෙම පූජා නගර ජල ව්‍යාපෘතිය යටතේ අටමස්ථාන පූජා භූමිය, පුජා භූමි නගරය, දේවානම්පියතිස්ස ගම, ලෝලුගස්වැව සහ පණ්ඩුල ගම යන ප්‍රදේශ ආවරණය වේ.

දිනකට ඝන මීටර 4500 ක පමණ ජල සැපයුමක් ලබාදීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ ඝන මීටර 450 ක ධාරිතාවයෙන් යුතු භූගත ජල ගබඩා ටැංකියක් ඉදිකිරීම, යුහු වැලි පෙරනය නවීකරණය කිරීම සහ මඩ කැටිති කරන ටැංකිය නවීකරණය කිරීම ද සිදුකෙරේ. එසේම ඉහළ යන ජල ඉල්ලුමට අනුව මධ්‍යම නුවර ගම් පලාතේ මෙතෙක් ආවරණය නොවු ප්‍රදේශ වල නව පාරිභෝගිකයන් 2280 ක් සඳහා  නව ජල සම්බන්ධතා ලබාදීම ද මෙහි දී සිදුකෙරේ.

රුපියල් මිලියන 458 ක වියදමකින් ඉදිකෙරෙන මෙම යෝජනා ක්‍රමය ඉදිරි මාස කීපයකදී නිම කිරීමට අපේක්ෂිතය.

සියළු ආගම් වලට අයත් ප්‍රමුඛතම පූජා ස්ථාන සහ පූජා නගර ආශ්‍රිතව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල තුලින් පුණ්‍ය භූමි වන්දනා කිරීම සඳහා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ හැකියාව ලැබෙන අතර මෙම පූජා නගර ආසන්නයේ පිහිටි දැනට ජල සැපයුම නොලැබී ඇති ගම්මාන සඳහා ද මෙම ව්‍යාපෘති යටතේම ජල පහසුකම් ලබාදීම මෙහි ඇති විශේෂත්වයයි.

 

 

Write comment (0 Comments)