ලෝක පරිසර දිනය නිමිත්තෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දිවයින පුරා පාරිසරික සංරක්ෂණ වැඩසටහන් දියත් කරයි.

ජුනි 05 වන දිනට යෙදුණු ලෝක පරිසර දිනය නිමිත්තෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පාරිසරික හා සමාජීය අංශය විසින් සංවිධානය කරන ලද ජාතික රුක් රෝපණ වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයේ පිහිටි කරස්නාගල ජල පවිත්‍රාගාරයේ බස්නාගොඩ ජල පෝෂක කලාපය කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ගරු සභාපති ඉංජිනේරු A.M.P.C.T. බණ්ඩාර මහතා ඇතුළු මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඉංජිනේරු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් සහභාගී වූහ.
මෙම වැඩසටහන කරස්නාගල ජල පවිත්‍රාගාර පරිශ්‍රයට පමණක් සීමා නොවූ අතර, දිවයින පුරා පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල, ජල පෝෂක ප්‍රදේශ සහ ජල මූලාශ්‍ර ආරක්ෂණ කලාප ආවරණය වන පරිදි ජාතික මට්ටමේ පාරිසරික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරිණි. ජල මූලාශ්‍ර සංරක්ෂණය, වනාන්තර ආවරණය වැඩිදියුණු කිරීම සහ දේශගුණික විපර්යාස හමුවේ පරිසර පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර විය.
මෙහිදී අදහස් දැක්වූ ගරු සභාපතිතුමා අවධාරණය කළේ පරිසර සංරක්ෂණය ලෝක පරිසර දිනයට පමණක් සීමා වූ ක්‍රියාකාරකමක් නොව, ආයතනික සහ සමාජීය වගකීමක් ලෙස වසර පුරා අඛණ්ඩව ඉටු කළ යුතු කාර්යභාරයක් බවයි. ජල සුරක්ෂිතතාව, ජෛව විවිධත්වය සහ තිරසාර සංවර්ධනය තහවුරු කිරීම සඳහා මෙවැනි දිගුකාලීන වටිනාකමක් සහිත වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
තවද, ලබන වසරේ ලෝක පරිසර දිනය වන විට මෙම වැඩසටහන්වල ප්‍රගතිය ඇගයීමට ලක් කරමින් පාරිසරික විද්වතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සිසුන්, පාසල් දරුවන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් මෙන්ම ප්‍රජා සංවිධානවල සහභාගීත්වයෙන් ජාතික පාරිසරික සමුළුවක් සංවිධානය කිරීමේ යෝජනාව ද ඔහු ඉදිරිපත් කළේය. එවැනි සමුළුවක් ජාතික පාරිසරික ප්‍රතිපත්ති සහ ජල සම්පත් සංරක්ෂණ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා කාලෝචිත සහ වැදගත් පියවරක් වනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය ජල සම්පත් ආරක්ෂණ මෙහෙවර සමඟ බැඳී පරිසර හිතකාමී සංවර්ධන ක්‍රියාකාරකම් අනුගමනය කරමින්, අනාගත පරපුර වෙනුවෙන් තිරසාර පරිසරයක් ගොඩනැගීම සඳහා අඛණ්ඩව කැපවී සිටී.